Gossips

වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නමට ඇප

වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නම ඇප මත මුදාහැරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත උන්වහන්සේලා මුදාහරින ලෙසයි.
2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට වරෙන්තු ලැබ සිටි භික්ෂුන් වහන්සේලා සිව්නම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද උදෑසන පැමිණියා.
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් අද උදෑසන අධිකරණයට පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මෙම හිමිවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 31 වනදායි.
මේ අතර රණවිරු සහ භික්ෂු දඩයමට එරෙහිව මාතෘ භූමිය සුරක්ෂකයෝ නැමති සංවිධානය අද උදෑසන විරෝධතා පා ගමනක නිරතවුණා.
කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමත් සමඟ ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලිිසිය පියවර ගනු ලැබුවේ.