Gossips

වර්ෂාවෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල සවස් භාගයේ ඇද හැලෙන ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඊයේ දිනයේදීත්, ප්‍රදේශ රැසකට ඇද හැලුණු වර්ෂාපතනයත් සමඟ පස් කඳු කඩා වැටීම් සහ ජල ගැලීම් සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කෑගල්ල – බුලත්කොහුපිටිය මාර්ගය අද උදෑසන සිට යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
එමෙන්ම, මහනුවර – අනිවත්ත බිම්ගෙය අසළින් දිවෙන මාර්ගයට ගල් පෙරළීම නිසා එම මාර්ගය ද තාවකාලිකව වසා දැමුණු අතර එය ද මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර, වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ විවෘත කෙරුණු වාන් දොරටු 3 ද අද උදෑසන වසා දමා තිබෙනවා.
වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අකුණු අනතුරු වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
හබරණ – ආසිරිගම ප්‍රදේශයේදී අකුණු සැර වැදීමකින් 43 හැවිරිදි කාන්තාවක් ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඇයගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම අකුණු සැර වැදීමක් හේතුවෙන් මුලතිව් – ජීවපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු ද ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊට අමතරව අකුණුසැර වැදීමක් හේතුවෙන් මාවනැල්ල නගරයේ පිහිටා තිබූ බැංකුවක ඊයේ පස්වරුවේ ගින්නක් ද හටගත්තා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒවා පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙසටයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේත් ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.