Gossips

වර්ජිත නිදහස් පක්ෂ අමාත්‍යවරු, කැබිනට් රැස්වීමට

අලූත් අවුරුදු උදාවෙන් පසු ප්‍රථමවරට කැබිනට් මණ්ඩලය අද (24) උදෑසන 9ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු ද උදෑසන පැවති කැබිනට් රැස්වීමට එක්ව සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අවසන් වරට පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තීරණය කරනු ලැබුවේ පසුගිය 09 වනදා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිරිපිටි, ඉන්ධන සහ ගෑස් යන ආදියේ මිල ගණන් පිළිබදව තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බවයි වාර්තා වන්නේ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සාමකාමී ලෙස කැබිනට් රැස්වීම පැවති බවත්, සියලූම යෝජනාවලට අනුමැතිය හිමි වූ බවයි.
මේ අතර, අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
කෙසේ වෙතත්, නව අමාත්‍ය මණ්ඩලය ලබන සතියේදී පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බී.බී.සී. සංදේශය සමඟ සාකච්ජාවකට එක්වෙමින්.