Gossips

වර්ජිත තැපැල් සේවකයින් අද කොළඹට, ලිපි සහ පාර්සල් තවදුරටත් ගොඩගැසේ

වර්ජනයේ යෙදී සිටින තැපැල් සේවකයින් අද (18) පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළට රැස්වී කොටුව දුම්රියපල දක්වා පා ගමනින් ගොස් විරෝධතාවක යෙදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
ඉන් අනතුරුව සිය ගැටළුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක ජනාධිපති මන්දිරය දක්වා ගොස් සන්දේශයක් භාරදෙන බවයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
තම ගැටළුවලට මෙතෙක් විසඳුම් නොලැබීම නිසා වර්ජනය දිගටම පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.
රට පුරා දින 08 ක් තිස්සේ ලිපි හෝ පාර්සල් බෙදාහැරීම සිදුකර නොමැති අතර, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලක්ෂ 5 කට අධික ලිපි සහ පාර්සල් ගොඩගැසී ඇති බවයි වාර්තාවන්නේ.
විදෙස් ගුවන් තැපැල් සේවය මගින් කටුනායක ගුදමේ ලිපි හා පාර්සල් සහිත මළු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර, මේ නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනපතා රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.
තැපැල්පති රෝහණ අබේරත්න ප්‍රකාශ කළේ තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 15 කට අධික මුදලක් දෙපාර්තමේන්තුවට අහිමි වන බවයි.
එමෙන්ම ඊයේ (17) වන විට රුපියල් කෝටි 50කට අධික ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් තැපැල් සේවකයින් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125ක ලාභයක් හිමිව ඇති බවට වාර්තා වනවා.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දින 08ක් තිස්සේ තැපැල් සේවකයන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව ඔවුන්ට ගෙවීමට තිබූ අතිකාල දීමනා, වැටුප් සහ අනෙකුත් සේවා සැලකිල්ලට ගනිමින් මෙම ලාභය වාර්තා වී ඇති බවයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව තවදුරටත් පැහැදිළි කළ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තැපැල්පතිවරයා විසින් අද දිනයේ තමන්ට සාකච්ඡාවක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවයි.
කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබාදෙන තෙක් වෘත්තිය ක්‍රියාමාර්ගය සහ විරෝධතා සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළා.