Gossips

වර්ජිත තැපැල් සේවකයන් පාර්ලිමේන්තුව අසළට

ඉල්ලීම් ලබා දීමට පියවර ගෙන ඇති නිසා වර්ජනය අවසන් කර යළි සේවයට වාර්තා කරන්නැයි තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් තැපැල් සේවකයින්ගෙන් අද ඉල්ලීමක් කළා.
දැනට ක්‍රියාත්මක වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලබාදෙමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ.
තැපැල් දෙපාර්තමේන්තුවටම අනන්‍ය වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට අදට දින 11ක් ගතවනවා.
මේ හේතුවෙන් ලිපි බෙදීම මෙන්ම ජාත්‍යන්තර තැපැල් කටයුතු ද සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඕමානයෙන් සහ යේමනයෙන් මෙරටට ලිපි සහ පාර්සල් එවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
තැපැල් කාර්යාල අක්‍රීය වීම හේතුවෙන් රථවාහන දඩ සහ වැඩිහිටි දීමනාව ගෙවීමට ද බාධා එල්ල වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.
කෙසේ වෙතත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මාසික වැඩිහිටි දීමනාව ගෙවීමට පියවර ගෙන ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ පී. ඩී. ආර්. කුලතුංග කියා සිටියා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවකද නිරත වුණේ සිය ඉල්ලීම් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්.
අදාල ඉල්ලීම් පිළිබඳව තැපැල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල සහ තැපැල් වෘත්තීය සමිති අතර ඊයේ සාකච්ජාවක් ද පැවැත්වුණා.
පාර්ලිමේන්තුව අසල අද පැවති විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වූ සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවුඩකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝහිත ජයසිංහ කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ජාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා අඛණ්ඩව වර්ජනය දියත් කරන බවයි.