Gossips

වර්ජනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා – කඩාකප්පල්කාරී ක්‍රියා ගැන සී.අයි.ඩී. යෙන් පරීක්ෂණ

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
උදෑසන බොහෝ කාර්යාලයීය දුම්රිය ධාවනය වූයේ ප්‍රමාදයන් සහිතවයි.
මේ අතර, වාර්තා වී ඇති කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව ඊයේ පස්වරු 4 සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කළේ සියයට 12 දශම 1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
මේ හේතුවෙන් දුම්රිය ධාවනාගාරවල එංජින් තත්ව පරීක්ෂාව සහ සංඥා පද්ධති පරීක්ෂා කිරීම්වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ගත වූ පැය 24 තුල දුම්රිය ගමන්වාර 350ක් පමණ ප්‍රමාදයන් සහිතව ධාවනය වූ බවයි.
එමෙන්ම දුම්රිය තාක්ෂණ සේවාවේ අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පස්වරුවේ නිවේදනය කළා.
මේ අතර මරදාන සහ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරවල නවතා තිබූ එංජින් කිහිපයකටම අලාභහානි සිදු කිරීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඊට අමතරව ඇතැම් දුම්රිය මැදිරි සහ භෝජනාගාර වලටද කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා.
ලූණුවිල දුම්රිය ස්ථානයේ කේබල් පද්ධතියට ද හානි සිදු කිරීම නිසා දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදහන් කළේ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන අතර කඩිනම් වාර්තාවක් ද කැදවා ඇති බවයි.
මේ අතර දුම්රිය ප්‍රමාදයෙන් මගීන්ට සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස් රථ 300ක් පමණ ධාවනයට එක් කර තිබෙනවා.