Gossips

වර්ජනයට පෙර බස් සංගම් නියෝජ්‍ය ඇමති හමුවේ

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ බස් සංගම් අතර තීරණාත්මක සාකච්ජාවක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
සෙත්සිරිපායේ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට සියලු බස් සංගම්වලට ආරාධනා කර තිබෙනවා.
මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙර බස් සංගම් අතර හමුවක් අද (16) පෙරවරුවේ පැවැත්වුණා.
ඊට බස් සංගම් තුනක සහ බස් සමාගම් 15ක නියෝජිතයින් සහභාගි වී තිබෙනවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු සඳහන් කළේ වැරදි ක්‍රමවේදයක් අනුව සකස් කර ඇති බස් ගාස්තු වැඩි වීමේ ප්‍රතිශතය කිසිම අයුරකින් පිලි නොගන්නා බවයි.
මෙම සාකච්ඡාවට අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද එක්වූ අතර ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී එහි සභාපති සරත් විජිත කුමාර ද කියා සිටියේ සිය ඉල්ලීම්වල වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙන බවයි.
බස් සංගම් අතර පැවති සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහභාගි වී සිටියේ නැහැ.
එහි සභාපති ගැමුණු විජේරත්නගෙන් මේ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ සියයට 10ක පමණ බස් ගාස්තු වැඩි වීමකට එකඟත්වය පළ කිරීමට තම සංගමය සූදානම් බවයි.
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සියයට 6යි දශම 56ක ගාස්තු වැඩි වීමක් ලබාදීමට ඊයේ (15) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටත් සමඟයි ඊට එකගවිය නොහැකි බව පවසමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට යොමු වන බව බස් සංගම් ප්‍රකාශ කළා.
ඊයේ අමාත්‍ය මණ්ඩලය ලබාදුන් සියයට 6 දශම 56 ගාස්තු වැඩිවීමට අනුව රුපියල් 10ක අවම බස් ගාස්තුව වෙනස් නොවන අතර රුපියල් 20ක් දක්වා වන ගාස්තු රුපියලකින් වැඩි වනවා.
රුපියල් 20 සිට 40 දක්වා රුපියල් දෙකකින් ගාස්තු වැඩි වන අතර එතැන් සිට රුපියල් 70 දක්වා ගාස්තු වැඩි වන්නේ රුපියල් තුනකින්.
එමෙන්ම රුපියල් 100ක බස් ගාස්තුව රුපියල් 6කින් වැඩි වන අතර 150ක බස් ගාස්තුව රුපියල් 9කින් ඉහළ යනවා.
මේ අතර අධිවේගී මාර්ගවල ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
කෙසේ වෙතත් ඊයේ අනුමත කළ බස් ගාස්තු වැඩිවීම ලංගම බස් රථ සඳහා අද දිනයේ සිට ක්‍රියාත්මකයි.
මේ අතර, දැන් පැවත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ බස් වර්ජනයට මුහුණදීම සඳහා රජය විසින් මේ වනවිටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.