Gossips

වයිබර් සමාජ මාධ්‍ය ජාල තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට

ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව සළකා බලා තාවකාලිකව සීමා කර තිබූ වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙහිදී විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස් සමග සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කළහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට ඇතැම් පාර්ශවයන් නීතිවිරෝධී ලෙස සමාජමාධ්‍ය භාවිත කිරීම පාලනය කිරීම සඳහා රජය පසුගියදා කටයුතු කළා.
ඒ අනුව ජනතාවට සිදුවන අපහසුතාවන් සළකා බලා මූලික පියවරක් ලෙස මෙලෙස වයිබර් සමාජ ජාලයට ප්‍රවේශවීමට පනවා තිබූ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ෆේස්බුක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව බොහෝ දුරට සිකුරාදා වනවිට අනෙකුත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති බාධාව ඉවත් කෙරෙනු ඇති බව බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
මහනුවර ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයත් සමග විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ෆේස් බුක්, වට්ස් ඇප්, සහ වයිබර් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ පසුගිය බදාදායි.
මේ අතර, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් තම කොමිසමට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ප්‍රකාශ කළා.
එමෙන්ම, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් අද පළාත් සභා සැසිවාරයට සහභාගිවූයේ සමාජජාල ප්‍රවේශ අවහිර කිරීමට එරෙහි පුවරුද රැගෙනයි.
එහිදී පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් සහ දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ අතර වචන හුවමාරුවක්ද හටගත්තා.