Gossips

වයඹ පළාත් ප්‍රධාන ඇමතිගේ ඡායාරූපයක් ගැනත් සමාජ මාධ්‍යයේ අවධානය

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකගේ ඡායාරූපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ලිපියක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් හටගෙන තිබෙනවා.
ඒ, මහරගම නගර සභාවේ සභාපතිවරයා තමාට සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස දන්වා පළ කළ බව කියන දැන්වීමක් සම්බන්ධයෙන් ද සංවාදයක් මතුව තිබෙන මොහොතකයි.
පසුගිය පළාත්පාලන ඡන්ද විමසීමේදී මහරගම නගර සභාවේ බලය හිමිකරගැනීමට බයිසිකලය ලකුණින් තරග වැදුණු ස්වාධීන කණ්ඩායම් අංක දෙක සමත්වූ අතර, ටිරාජ් ලක්රුවන් මහරගම නගර සභාවේ සභාපති ධුරයට පත්වුණා.
ඔහු සිය නිල කාමරයට ඇතුලූවන දොරටුවේ පළ කර තිබූ බව කියන මෙම දැන්වීමට ෆේස්බුක් ඇතුලූ සමාජමාධ්‍යවල යොමුවී ඇත්තේ ඉහළ අවධානයක්.
තමා නගරයේ පළමු පුරවැසියා මෙන්ම ආයතනයේ ප්‍රදාන විධායක තනතුර හොබවන බැවින් ජනතාව ඇතුලූ සියලූදෙනා තමාට සර් යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතු බව එහි දැක්වුණා.
කෙසේ වෙතත් මේ වනවිට එම දැන්වීම අදාළ ස්ථානයෙන් ඉවත් කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී රුවන් ජයසිංහ කියා සිටියේ මාස 3 කට පමණ පෙර අදාළ දැන්වීම එම ස්ථානයේ සවිකර තිබූ බවයි.
එහෙත් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ඉවත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
අදාළ දැන්වීම පළ කිරීමෙන් පසු කිසියම් අයෙකු විසින් සභාපතිවරයාට ගත් බව කියන දුරකථන ඇමතුමක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවනවා.
මේ අතර කුරුණෑගල අධ්‍යාපන කලාපයේ සියලූ පාසල්වල සවිකිරීම සඳහා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකගේ ඡායාරූපයක් මිලදී ගන්නා ලෙසට විදුහල්තිවරුන්ට යොමුකළ ලිපියක් සම්බන්ධයෙන්ද ෆේස්බුක් ඇතුලූ සමාජමාධ්‍යවෙල අවධානය යොමුවී තිබෙනවා.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඡායාරූප දෙකක් දක්වා ඉන් පාසලට ලබාගැනීමට කැමති ඡායාරූපය පිළිබඳව කඩිනමින් දන්වා එවන ලෙසටයි කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් එමඟින් විදුහල්පතිවරුන්ට දන්වා යවා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් විමසීමට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.