Gossips

වයඹ ඇළ දෙවන අදියර ඉදිකිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

එල්ලංගා පද්ධති මගින් සබැඳුනු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා.
ඒ, පොල්පිතිගම – කුඹුකුලාව වැව පරිශ්‍රයේදීයි.
දේශගුණික හා කාලගුණික අවදානමට ඔරොත්තු දිය හැකි පරිදි ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ යල – මහ දෙකන්නයේ ගොවි බිම්වලට අවශ්‍ය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිතයි.
වයඹ ඇළ ව්‍යාපෘති කාර්යාලය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි සමරු සටහනක් ද තබනු ලැබුවා.
මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර, එහි නියමු ව්‍යාපෘතියක් ලෙසයි පොල්පිතිගම – කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ.
වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමැඩිල්ල, දේවහූව යන ප්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාවන් ද සුරක්ෂිත කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, 2024 දී වැඩ අවසන් කිරීමට අපේක්ෂිතයි.
ගොවි පවුල් 13,000ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙමගින් සිදුවන අතර, පානීය ජල සැපයුම ඇතුළු විවිධ අයුරින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000 ක්.
වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, වෑමඩිල්ල සහ දේවහූව යන ප්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම මෙන්ම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මීඔය, හක්වටුන්නා ඔය හා කලාඔය ද්‍රෝණිවල පිහිටි කුඩා වැව් 315 ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීම ද සිදුකෙරෙනවා.