Gossips

වයඹ ඇල දෙවන අධියරේ කටයුතු ආරම්භ කිරීම හෙට

ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය සහ වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවන අධියරේ කටයුතු ආරම්භ කිරීම හෙට සිදු කෙරෙනවා.
ඒ පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී.
ග්‍රාමිය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කෙරෙන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපය තුල මේ වන විට අක්‍රිය වී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹුනු ව්‍යාපෘතියක්.
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම සම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මගින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා තිබෙනවා.
මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 300 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම කටයුතු ආරම්භ වනු ඇති.
මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවන අධියර ද හෙට ආරම්භ කෙරෙනවා.
මොරගහකන්ද කලු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙසටයි 2016 වසරේදී වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුනේ.
ව්‍යාපෘතියට රුපියල් මිලියන 16000 ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර 2024 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි.
එමගින් ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 40000 ක් පමණ වනවා.