Gossips

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය මැඩලන්න ජාත්‍යන්තර සහය

වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා විසඳුම් ලබාගැනීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ සහය ලබාදෙන බවට එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගිවී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව ඊයේ පස්වරුවේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂෙන්ගෙන් ෆෑන් හමු වූ අවස්ථාවේදීයි මෙම එකඟතාවය පළ කර ඇත්තේ.
මෙරට වගාවන් සියයට 40 ක් පමණ වන සතුන් විනාශ කිරීම නිසා අස්වැන්න අඩුවීමට එය හේතුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව එම ගැටළුව විසඳීම සඳහා තම අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට සහය දෙන බවයි ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂෙන්ගෙන් ෆෑන් පවසා ඇත්තේ.
එමෙන්ම අවිධිමත් ආහාර රටාවන් හේතුවෙන් මෙරට ජනතාවගෙන් සියයට 17 ක් දියවැඩියා රෝගයෙන්ද සියයට 48 ක් කාන්තාවන් ස්ථුලතාවයෙන්ද, සියයට 20 ක් මන්ද පෝෂණයෙන් ද පෙලෙනවා.
මේ නිසා ඔවුන් බෝ නොවන රෝග ව්‍යාප්ත වීමේ අවධානමට ලක්ව සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
ඒ සඳහා නව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට විශේෂඥ සහය ලබාදෙන ලෙසටද ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සඳහා සියලූ සහයෝගය ලබාදෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට සෘජුව බලපාන ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇමරිකානු සංචාරයට සමගාමීව ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී සිදු වුණා.
ඒ අනුව සමාජ ප්‍රගමන සඳහා වූ අරමුදලක් පිහිට වීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාලව මෙම ගිවිසුම්වලට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයන සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුලින් අපේක්ෂා කරනවා.