Gossips

වන අලි රංචුවක බස් රථයක් ගැටී දඹුල්ලේදී අනතුරක් (ඡායාරූප)

දඹුල්ල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව, කොරසගල්ල ප්‍රදේශයේදී බස් රථයක් වන අලි රංචුවක ගැටී තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ සිදුවූ අනතුරෙන් බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා එහි ගමන් ගත් මගීන් හය දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් කැකිරාව, කොරසගල්ල ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් කියා සිටියේ අනතුර සිදුවූ ස්ථානයෙන් නිරන්තරයෙන් වන අලි ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන බවයි.
වන අලින් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙන අවස්ථාවක මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අනෙකුත් වාහන මඳක් දුරින් නවතා තිබියදී වේගයෙන් පැමිණි අදාල බස් රථය වන අලි කිහිපදෙනෙකුගේ ගැටී ඇති බව සඳහන්.
අනතුරින් පසුව බස් රථයේ රියදුරු, රිය අසුනේම සිරවී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව විනාඩි 30ක පමණ කාලයක දැඩි පරිශ්‍රමයක් දරා ඔහු එළියට ගෙන කැකිරාව රෝහලට වෙත ඇතුලත් කරනු ලැබුවා.
බස් රථයේ සහයකවරයා කියා සිටියේ එකවරම වන අලින් 15කට අධික කණ්ඩායමක් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි.
අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ දිනවල වී අස්වැන්න නෙලීම ආරම්භයත් සමඟ කලාවැව වැව්තාවුල්ලේ සිටින වන අලි ගම් වැදීම සිදුවන බවයි.
මෙම වන අලි රංචුව නිරන්තරයෙන් මාර්ගය හරහා ගම්මානයට කඩා පැනීමත්, නැවතත් අළුයම් කාලයේ ගම්මානේ සිට කලා වැව වැව් තාවුල්ලට දඹුල්ල – කැකිරාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන බවයි කැකිරාව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සඳහන් කර සිටීයේ.
බොහෝ අවස්ථාවන්හිදී පොලිසිය මැදිහත්ව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබෙන වාහන නවතා වන අලින්ට මාර්ගය හරහා ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවද පොලීසිය සඳහන් කර සිටියා.

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර