ගලේවෙල දේවහූව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියට අද උදෑසන පැමිණ සිටි වන අලි දෙදෙනෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අලි දෙදෙනා පැමිණීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන වාර විභාගයට පෙනී සිටින ළමුන් දැඩි අපහසුතාවකට පත්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද උදෑසන 6.30 පමණ සිට 8.30 දක්වා වන අලින් දෙදෙනා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ රැඳී සිටීම හේතුවෙන් ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පැමිණ ඔවුන් පළවා හැරීමට පියවර ගෙන තිබුනා.
එම අවස්ථාවේ දී වන අලින් දෙදෙනා මාර්ගය හරහා ගොස් නිවෙස් ආසන්නයෙන් රක්ෂිතයට පිවිස තිබු අතර වනජීවී නිලධාරීන් එම සත්වයන් දෙදෙනා පළවා හැරීමට මෙහෙයුමක් සිදුකළා.
එහිදී වනජීවී නිලධාරීන් රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි බවයි අප වාර්තාකරු කියාසිටියේ.
පසුව ඔවුන්ට එය ඉවත් කර වනජීවී කාර්යාලයට පැමිණෙන ලෙසට පැමිණි නිලධාරීන් ප්‍රකාශකර තිබුනා.
ප්‍රදේශවාසීන් පවසන්නේ දිනපතා වන අලි ගම්වැදීම සිදුවන බවයි.
එහෙත් අලුයම් කාලය වන විට ආහාර ගෙන නැවතත් වනයට ගමන් කරන අලින් දෙදෙනෙකුට ගමෙන් පිටවීමට නොහැකිව මෙලෙස රැඳී සිටින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.