Gossips

වනාතවිල්ලූව ගොවිපොලේ හිමිකරුත් පොලිස් භාරයට

පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් හමුවූ වනාතවිල්ලූව ගොවිපළේ හිමිකරු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඔහු කොළඹට ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පසුගියදා වාර්තා වූ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන් පිළිබද පරීක්ෂණ සිදුකළ කණ්ඩායමක් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෙරේදා දිනයේ වනාතවිල්ලූව, මංගලපුර, කරඩිපුවල් යන ප්‍රදේශවලට පැමිණියේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධීන් පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණ කටයුත්තක් සදහායි.
එහිදී මෙම ගොවිපොල නිරීක්ෂණයට ලක්වී ඇති අතර එම අවස්ථාවේ ගොවිපොළෙහි එක් ස්ථානයක වළදමා තිබූ මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගයේ වර්ගය හදුනා ගැනීම සදහා විශේෂඥයන් පිරිසක් අද වනාතවිල්ලූව ප්‍රදේශයට පිටත්ව යාමට ද නියමිතයි.
කෙසේ වෙතත්, මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ගබඩා කර තිබුණේ කුමන හේතුවක් මත ද යන්න පිළිබදව මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම සදහා කණ්ඩායම් 3 ක් පත් කර තිබෙනවා.
මේ අතර, පසුගිය කාල පරිච්ඡේ දය තුළ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගනු ලබන නිලධාරින්ට සහ ඔත්තුකරුවන්ට ත්‍යාග පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගිනි අවියේ වර්ගය අනුව ගෙවනු ලබන මුදල වෙනස් වන බවයි.