Gossips

වතු සාකච්ඡා අද යළිත්

දින දෙකක් කල් ගිය වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමේ සාකච්ඡාව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුලූ මන්ත්‍රීවරුන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ අමාත්‍ය නවීන් දිසානායකද එක්වනවා.
ඊට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු සංගම් එක්වන බවයි අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ.
මීට දින දෙකකට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණත්, විවිධ හේතුන් මත එය අද දක්වා කල් තැබුණා.
පසුගිය මස 28 වනදා වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නංවමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදියි.
එහිදී වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 700 ක් ලෙස ඉහළ නංවනු ලැබුවා.
එමෙන්ම ස්ථීර දීමනාව රුපියල් තිහේ සිට පණහ දක්වා වැඩි කළ නමුත් පෙර පැවති රුපියල් 60 ක පැමිණීමේ දීමනාව සහ රුපියල් 140 ක නිෂ්පාදන දීමනාව මෙවර ගිවිසුමට ඇතුළත් කර තිබුණේ නැහැ.
එමඟින් වතු කම්කරුවන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර නොදුනහොත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුලූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත්වන බවට ප්‍රකාශ කර තිබුණා.
ඉන් අනතුරුවයි ඒ සඳහා යළි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණේ.