වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවමින් පසුගියදා අත්සන් කළ ගිවිසුමෙන් වතු කම්කරුවන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් නිල වශයෙන් තමන් එම ගිවිසුමෙන් ඉවත්වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කළා.
මේ අතර දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් අද යළි කියා සිටියේ අත්සන් කළ සාමූහික ගිවිසුම තවදුරටත් පැවතියහොත් තම සන්ධානය, ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
පසුගිය මස 28 වනදා වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නංවමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදියි.
එහිදී වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 700 ක් ලෙස ඉහළ නංවනු ලැබුවා.
එමෙන්ම ස්ථීර දීමනාව රුපියල් තිහේ සිට පණහ දක්වා වැඩි කළ නමුත් පෙර පැවති රුපියල් 60 ක පැමිණීමේ දීමනාව සහ රුපියල් 140 ක නිෂ්පාදන දීමනාව මෙවර ගිවිසුමට ඇතුළත් කර තිබුණේ නැහැ.
මීට අමතරව රුපියල් 75 ක්ව පැවති සියයට 15 ක් වන සේවක අර්ථසාධක අරමුදල් දීමනාව රුපියල් 105 කින් ඉහළ දැමීමටයි නව ගිවිසුමෙන් තීරණය කෙරුණේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුමට ආණ්ඩුව නියෝජනය කරන දෙමළ ප්රගතිශීලී සන්ධානය විරෝධය පළ කළ අතර, ඔවුන් ප්‍රකාශ කළේ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.