Gossips

වතු කම්කරු වැටුප් වැඩි කළ නොහැකි බව හාම්පුතුන්ගෙන් ප්‍රකාශයක්

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වෙනවා.
කොටගල නගරයේ වෙළඳසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, කළුකොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වෙන්නේ වතුකම්කරු වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින්.
මීට අමතරව, නෝර්වුඞ් නගරයේ ද වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ඊයේ කොළඹ – ගාලූමුවදොර පිටියේදී විරෝධතාවයක් ද පැවැත්වුණා.
එහිදී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට උත්සාහ කළ අතර පසුව පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි කටයුතු කරනු ලැබුවේ.
දැනට වතුකම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 530 ක් වන අතර, එය දහස දක්වා වැඩි කරන ලෙසටයි වතු වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර පසුගිය දින කිහිපය තුළම සාකච්ඡා පැවතියත් ඒවා අසාර්ථක වූයේ ගැටලූවට විසඳුමක් නොලැබීම හේතුවෙන්.
මේ අතර, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳව අදහස් පළ කිරීම සඳහායි.
වතුකම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් නොමැති බව මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද සඳහන් කළා.
මේ අතර, ලබන සඳුදා අගමැතිවරයා හමුවී වතු කම්කරු ගැටලූව පිලිබඳව සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායක අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.