Gossips

වතු කම්කරු වැටුප් අර්බුදයට එරෙහිව ප්‍රදේශ කිහිපයක කළු කොඩි

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් අද (04) කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට සූදානම් වනවා.
දහසේ ව්‍යාපාරය සඳහන් කළේ මාතලේ, රත්තොට, තලවකැලේ, හැටන් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම කළු කොඩි විරෝධය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.
රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුමෙන් එය තීරණය වූයේ රුපියල් 700 ක් ලෙසයි.
කෙසේ වෙතත් එම ගිවිසුමට පාර්ශව ගණනාවකින් මේ වනවිට විරෝධය එල්ලවී තිබෙනවා.
ඒ අතර රජයේ අමාත්‍යවරුන්ද නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයද පෙරමුණ ගැනීම විශේෂත්වයක්.
ඔවුන් මේ වනවිට පවසා ඇත්තේ සාර්ථක විසඳුමක් ලබා නොදෙන්නේ නම් අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තමන් සූදානමින් සිටින බවයි.
මීට පෙර දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, එහිදී වතු කම්කරු වැටුප් වැඩිකිරීමේ ගිවිසුම ගැසට් කිරීම හෙට (05) දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණා.