Gossips

වතු කම්කරු ගැටළුව ගැන මනෝගේ පක්ෂයෙන්, ආණ්ඩුවට රතු එළියක්

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් පසුගියදා අත්සන් කළ ගිවිසුම පිළිබඳව රජය පාර්ශවයෙන් නිසි පැහැදිළි කිරීමක් නොලැබුණහොත් ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කිරීම ගැන දැඩි තීරණයකට එළඹීමට සිදුවන බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.
ඊයේ පස්වරුවේ පැවති එම සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම අවලංගු කළ යුතු බව පවසමින් ඊයේ සහ පෙරේදා වතු කම්කරුවන් විරෝධතාවල නිරතවුණා.
අරලියගහ මන්දිරයේදී අත්සන් කෙරුණු මෙම ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 700 ක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 500 සිට 700 දක්වාද, ස්ථීර දීමනාව රුපියල් තිහේ සිට 50 දක්වාද ඉහළ දමා ඇති බවයි නව ගිවිසුමේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් පෙර පැවති රුපියල් 60 ක් වූ පැමිණීමේ දීමනාව සහ රුපියල් 140ක දීමනාව මෙවර වැටුප් වැඩිවීමට ඇතුළත් කර නැහැ.
එසේම රුපියල් 75 ක්ව පැවති සියයට 15ක් වන සේවක අර්ථසාධක අරමුදල් දීමනාව රුපියල් 105 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව ගිවිසුම මගින් සැබෑ ලෙසම වතු සේවකයන්ගේ වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් 50 කින් වීම විශේෂත්වයක්.
ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් ප්‍රකාශ කළේ මෙම ගැටළුවට අදාළව අනිද්දා අග්‍රාමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.