Gossips

වතු කම්කරුවන් දෙවන දිනටත් වර්ජනයේ

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව, හැටන්, මස්කෙළිය, තලවකැලේ ඇතුලූ ප්‍රදේශ කිහිපයක වර්ජනය ක්‍රියාත්මක බවයි වාර්තාකරු කියා සිටියේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල කර්මාන්තශාලාවල තේ නිෂ්පාදන කටයුතු ද ඇණ හිට තිබෙනවා.
කෙසේ වෙතත්, වතුකරයේ ඇතැම් ප්‍රදේශවල වතුකම්කරුවන් අද දිනයේ සේවයට වාර්තා කර තිබුණා.
ලංකා කම්කරු කොංග්‍රසයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිති මේ දක්වා සහය පළ කර නොමැති අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ලංකා ජාතික වතු කම්කරු සංගමය වර්ජනයට සහය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමක වතු අධිකාරිවරයෙකුට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පැමිණ ඊයේ මරණීය තර්ජන සිදුකර තිබෙනවා.
ඒ වර්ජනයේ නිරත කම්කරුවන්ට සේවයේ නිරත වන ලෙස වතු අධිකාරිවරයා දැනුම් දුන් බව පවසමින්.
එහිදී වතු අධිකාරිවරයා මෙම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.