Gossips

වතු කම්කරුවන් අදත් ප්‍රදේශ රැසක විරෝධතාවල (ඡායාරූප)

වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක අදත් විරෝධතා පැවැත්වෙනවා.
හැටන් – කොටගල ගුරු විද්‍යාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් ද අද (26) උදෑසන හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූයේ වතු කම්කරු වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස බල කරමින්.
එමෙන්ම බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ද උද්ඝෝෂණයක නිරත වූ අතර නගර මධ්‍යයට පැමිණි ඔවුන් ටයර් සහ වතු සමාගම් අයිතිකරුවන්ගේ අනුරූ සකස් කර පුළුස්සා දමමින් විරෝධතාවයේ නිරත වුණා.
ඊට සහය දක්වමින් බගවන්තලාව නගරයේ සියළුම වෙළදසැල් වසා දමා තිබූ අතර, නගරය පුරා කළු කොඩි ද ඔසවා තිබුණා.
එම විරෝධතාවයට බගවන්තලාව නගරයේ වෑන් රථ හිමියන් සහ ත්‍රිරෝද රථ හිමියන් ද සහය පළ කළ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, හුන්නස්ගිරිය – ඇල්කඩුව වත්තේ සේවය කරන කම්කරුවන් ද අද (26) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලමින්.
ඔවුන් අද දිනයේ වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම නුවර – ගලහ ප්‍රදේශයේ දෙල්තොට වත්තේ සේවය කරන වතු කම්කරුවන් ද අද විරෝධතාවක නිරත වුණා.
මේ අතර, ගාල්ල – උඩුගම ප්‍රධාන මාර්ගය නාකියාදෙනිය මං සන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතුකරයේ දේශපාලනඥයින් රජයට අනතුරු ඇගවීමක් සිදුකළා.
ඊයේ (25) දිනයේදීත් කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැවැත් වූයේ වතු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.
වතු හාම්පුතුන්ගේ සංගමය ද කොළඹදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 600 දක්වා පමණක් වැඩි කළ හැකි බවයි.
දැනට වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 530 ක්.
වතු කම්කරුවෙකුට ලැබෙන රුපියල් 805 ක මුළු දෛනික වැටුප රුපියල් 940 ක් දක්වා ඉහළ නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කර ඇති නමුත්, ඊට කම්කරුවන් එකඟ නොවී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ