Gossips

වත්මන් රජයේ පස්වන අයවැව අද පර්ලිමේන්තුවට

2019 වසරට අදාළ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද (05) පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
අද ඉදිරිපත් කරන අයවැය වත්මන් රජයේ 5 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැය ද වනවා.
රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 5 වන දා ඉදිරිපත් කොට නොවැම්බර් 5 වන දා තුන්වන වර කියවා සම්මත කර ගැනීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, සිදුවූ බල පෙරළිය නිසා එය සම්මත කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක්.
ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් පමණ වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය දෙවන වර කියවීමේ විවාදය මාර්තු 06 වන දා සිට 12 වන දා දක්වා පැවැත්වෙනවා.
එදිනම සවස දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීමේ කමිටු විවාදය මාර්තු 13 වන දා ආරම්භ වන අතර එය අවසන් වන්නේ අප්‍රේල් 5 වන දායි.
ඒ අනුව අප්‍රේල් 5 වන දා අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදුකරනු ලබනවා.