Gossips

වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා

උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර චෝදනා කරනවා.
උතුරුමැද පළාතේ වකුගඩු රෝගය වැළදී ඇති බවට ප්‍රාදේශීය රෝහල්වල සිදුකරන පරික්ෂණවලින් හඳුනාගත් රෝගීන් දෙවන පරීක්ෂණයට යොමුකළ පසු ඉන් සියයට 50 ක ප්‍රමාණයකට එවැනි තත්ත්වයක් නොමැති බවට මාධ්‍ය වාර්තා පළව තිබුණා.
ඒ පිළිබදව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ උතුරුමැද පලාත් ප්‍රධාන ලේකම්වරයාට ද ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.
එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර පරීක්ෂණ සඳහා යොදවා ගැනීම වැරදි දත්ත ලැබීමට හේතු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩි.එම්.එස්. සමරවීරගෙන් විමසීමක් කළා.
ඔහු සදහන් කළේ ප්‍රාදේශීය රෝහල්වල පරීක්ෂණ කටයුතුවල පවතින අඩුපාඩු හේතුවෙන් වකුගඩු රෝගය නොමැති පුද්ගලයින් පවා වකුගඩු රෝගීන් ලෙස හදුන්වා ඇති බවයි.
මේ අතර, වකුගඩු රෝගය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් සිටින රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ නිසි ප්‍රමිතියෙන් යුතු යන්ත්‍ර උතුරුමැද පළාත සඳහා යොදවා නොමැතිවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.