Gossips

වක්‍ර බදු වැඩි අයවැයක් – විශ්ලේෂකයින්ගෙන් ප්‍රකාශයක්

ඍජු බදු වෙනුවට වක්‍ර බදු අනුපාතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් මෙවර අයවැයෙන් පෙන්නුම් කරන බව ආර්ථීක විශ්ලේෂකයින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න කියා සිටියේ ආර්ථීකය පුනර්ජීවනයට ලක් කිරීම සඳහා වන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කර ඇති බවයි.
සියලු ණය සහ බැර කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා සියයට 3 යි දශම 5 ක ජාතිය ගොඩනැගීමේ බද්දක් මෙවර අයවැයෙන් හඳුන්වාදීම සිදුකෙරුණා.
මෙතෙක් පැවති සියයට 2 යි දශම 5 මුද්දර ගාස්තු වෙනුවට එය හඳුන්වා දෙන බවයි අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, ජාතික වානිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නන්දික බුද්ධිපාල කියා සිටියේ මෙම යෝජනාව හරහා අන්තර්ජාලය ඔස්සේ විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම අධෛර්යමත් වනු ඇති බවයි.
පසුගිය අයවැය මගින් රාත්‍රී 9 න් පසු, අධිවේගී මාර්ග වල රථ වාහන ධාවනය කිරීමේදී අය කෙරුණු ගාස්තු අඩු කෙරුණා.
එහෙත්, මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය ඉදිරිපත් කරමින් ඊයේ කියා සිටියේ ලබන අප්‍රේල් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් වලදී අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් වැඩි කරන බවයි.
මේ පිළිබඳව ද අප ජාතික වානිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නන්දික බුද්ධිපාලගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.rn