Gossips

වංචා සොයන ජනපති කොමිසමට පැමිණිලි 900 ක්

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 900 ක් ලැබී තිබෙනවා.
2016 වසරේ ජුනි මස 05 වැනිදා කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන් හානි වූ නිවාස සහ ගොඩනැගිලිවලට වන්දි ලබාදීමේදී තක්සේරු නිලධාරීන් වැරදි තක්සේරු ලබාදී ඇති බවට පැමිණිල්ලක්ද ඊට ඇතුළත්.
එමෙන්ම, සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් එම ගිවිසුමේ කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට වන පැමිණිල්ලක්ද එම කොමිසමට ඉදිරිපත් වී තිබෙනවා.
එමඟින් රටේ ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බවයි පැමිණිල්ල ඉදිරිපත් කළ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කර ඇත්තේ.
මේ අතර, රේගු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සංගමයද කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයකට කැබිනට් අමාත්‍යවරුන් සහ රේගු නිෂ්කාශන බදු නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේ රජයට රුපියල් මිලියන 1492 ක පාඩුවක් සිදුකර ඇති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
ඊට අමතරව සැලසුම් සහගත අන්දමින් රේගු දෙපාර්තමේන්තුවේ හිටපු බදු අධ්‍යක්ෂ චූලානන්ද පෙරේරාගේ ඍජු මැදිහත්වීම මත නිසි මූල්‍යමය වටිනාකම් අයකර නොගෙන මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත නිදහස් කර ඇති බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්.
එයින් රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියනයකට ආසන්න බවයි ඔවුන් කියා සිටින්නේ.