Gossips

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද (24) පැවැත්වෙන අතර, එහිදී එංගලන්තය තරඟ වදින්නේ පැනමා කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරඟයෙන් ජයග්‍රහණය කළහොත් එංගලන්තයට අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමට හැකි වනු ඇති.
අද දෙවන තරඟය පැවැත්වෙන්නේ ජපානය සහ සෙනගාලය අතරයි.
තුන් වන තරඟයේදී පෝලන්තය, ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාව සමඟ තරඟ වැදීමට නියමිතයි.
ඊයේ පැවති තරඟවලදී දකුණු කොරියාව පරදවා මෙක්සිකෝව ගෝල දෙකට එකක ජයක් වාර්තා කළා.
ස්වීඩනය පරදා ජර්මනිය ගෝල දෙකට එකක් ලෙස ජය ගත් අතර, ටියුනීසියාව පරදවා බෙල්ජියම ජයග්‍රහණය කළේ පහට දෙකක් ලෙසයි.
මේ අතර, සිකුරාදා පැවති තරඟයකදී ෆීෆා බලධාරීන් ස්විට්සර්ලන්තයට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවට සර්බියාව චෝදනා කළා.
ස්විට්සර්ලන්තය වෙනුවෙන් ගෝල දෙකක්ම වාර්තා කළේ යුගෝස්ලාව් යුද්ධයේදී සර්බියානු ග්‍රහණයට ලක්වූ කොසවෝ ප්‍රාන්තයේ ඇල්බේනියානු සම්භවයක් සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක්.
ඔවුන් මේ වන විට ස්විට්සර්ලන්තය නියෝජනය කරන අතර, තරඟය නිමාවේ ඇල්බේනියානු රාජාලි සංකේතය හස්ත මුද්‍රාවෙන් පෙන්වීම පිළිබදව විනය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
සර්බියාව චෝදනා කළේ තරඟය සඳහා ජර්මානු විනිසුරුවෙකු යොදා ගැනීම තුළින් තම කණ්ඩායමට දඬුවම් පහරක් පවා අහිමි කළ බවයි.