Gossips

ලෝකාන්තය නැරඹුම් ස්ථානයට පහළින් ආරක්ෂිත දැලක් එළීමට අවධානය

ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහලින් හඳුනාගත් අවධානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ භාරකරු පවසනවා.
පසුගියදා ජර්මන් ජාතික කාන්තාවක් ලෝකාන්තය අසලදී ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇද වැටීමෙන් මරණයට පත්වුනා.
එම සිද්ධියත් සමග ලෝකාන්තය නැරඹීමට එන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ මධ්‍යම පළාත් වනජීවී අධ්‍යක්ෂවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර සඳහන් කළේ.
ලෝකාන්තය නැරඹීමට වසරකට දේශීය විදේශීය සංචාරකයන් ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන අතර ඔවුන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කරන අවස්ථාවේදීම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු කියාසිටියා.
ලෝකාන්තය නැරඹීමට විදේශීය සංචාරකයන් සමග පැමිණෙන ඇතැම් මග පෙන්වන්නන් ලෝකාන්තයට ඇති දුර හේතුවෙන් සංචාරකයන් පමණක් තනිව එම ස්ථානයට යවා මග පෙන්වන්නන් ප්‍රවේශපත්‍ර කවුලුව අසල නතරවන බවයි ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දෙන්නේ.
ලෝකාන්තය නැරඹීමට ආරක්ෂිත නැරඹුම් ස්ථානයක් තම දෙපාර්තමේන්තුව මගින් ඉදිකර ඇතත් එම නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් අවධානම් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව උද්‍යාන භාරකරුවා පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් යුද හමුදා කඳවුරුවල භාවිත කෙරෙන පරිසර හිතකාමී ආරක්ෂිත දැල් ලෝකාන්තය නැරඹුම් ස්ථානයට පහළින් ස්ථාන දෙකක මීටර් 80 ක් පමණ දිගට එළීමට සැලසුම් කර ඇතැයි හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ භාරකරු වැඩිදුරටත් කියාසිටියා.