Gossips

ලොව පුරා කොටස් වෙළදපොළ පහතට

ලොව පුරා කොටස් වෙළදපොළ පහත වැටීමක් ගත වූ සතිය තුළ දක්නට ලැබුණා. චීනයේ සහ යුරෝපයේ ආර්ථික දත්ත පදනම් කර ගත් ගෝලීය ආර්ථිකය මන්දගාමීවීම පිළිබඳ පුරෝකථනයන් සමඟයි මෙම තත්ත්වය දක්නට ලැබුණේ.
ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය මෙතෙක් විසදී නොතිබීම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව රටවල් 47ක කොටස් වෙළදපොළ දත්ත ඇතුළත් ගෝලීය කොටස් වෙළදපොළ දර්ශකය පහත වැටුණු බවයි වෙළදපොළ විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ.
මේ අතර, චීනයෙන් ආනයනය කරන ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ සඳහා ඇමරිකාව පැනවීමට සැරසුණු සියයට 25ක නව තීරු බද්ද ක්‍රියාවට නැංවීම මාස දෙකකින් කල් දමා තිබෙනවා.
එය ලබන වසරේ ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා නව දිනය ලෙස ප්‍රකාශ වී ඇත්තේ ලබන වසරේ මාර්තු 2 වන දායි.