වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (2 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
ඒ අනුව ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 177 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නවෝද් පරණවිතාන, දුනිත් වෙල්ලාලගේ සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අවයිස් සෆාර් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 43 ක් රැස්කළද, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
වකාර් අහමඞ් හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද, අර්ෂාඞ් ඉක්බාල් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද රැස්කිරීමට සමත් වුවද පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරවීමට තරම් ඔවුන්ගේ ඉනිම් ප්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 49.4 ක් අවසානයේ ලකුණු 200 ක් රැස්කළේය.
පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා සිවුවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක කළණ පෙරේරා, පන්දු 61 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 51 ක් රැස්කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.
ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද, නායක නිපුන් ධනංජය හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 41 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 23 ක් ලබා සිටි නිපුන් මාලිංග දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සාද් ඛාන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් විය.
පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අර්ෂඞ් ඉක්බාල් ලකුණු 34 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.
වරෙක ලකුණු 139 කට කඩුලු 3 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 146 කට කඩුලු 7 ක් බවට පත්කිරීමටද ඔහුට හැකි විය.
එහිදී ඉක්බාල් දවාගත් කඩුලු 6 න් 3 ක්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අවස්ථා වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
ශ්‍රී ලංකා යොවුන් පිල – ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 200
(නවෝද් පරණවිතාන 26, නිෂාන් මධුෂංක 19, කළණ පෙරේරා 51, නිවනිඳු ප්‍රනාන්දු 16, නිපුන් ධනංජය 33, නිපුන් මාලිංග 23, අර්ෂඞ් ඉක්බාල් 34/6, බිලාල් ජාවෙද් 25/2)
පාකිස්තාන යොවුන් පිල – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 177
(ජහන්සයිබ් සුල්තාන් 22, සාද් ඛාන් 22, රොහේල් නසිර් 18, වකාර් අහමඞ් 24, අවයිස් සෆාර් 43, අර්ෂඞ් ඉක්බාල් නොදැවී 26, නවෝද් පරණවිතාන 27/2, දුනිත් වෙල්ලාලගේ 28/2, කල්හාර සේනාරත්න 32/2)