හෙළයේ මහා සිනමාවේදී අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්රණාම සම්මානය හමුවූ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරගෙන් අද (05) පොලිස් ස්ථාන දෙකක් ප්රකාශ ලබා ගත්තා.
ඒ කොල්ලූපිටිය සහ සිද්ධියට අදාළ විමර්ශන මෙහෙයවන බම්බලපිටිය පොලීසියයි.
මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලූපිටිය මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී මගී බස් රථයක භාණ්ඩ රදවනයක තිබී මෙම සම්මානය සොයා ගත්තේ සේවකයන් දෙදෙනා කළ දැනුම්දීමකට අනුවයි.
පසුව එම සම්මානය කොල්ලූපිටිය පොලීසිය විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්රා පීරිස් වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී එය අස්ථානගත වූ යාවජීව ප්රණාම සම්මානය බවට ඇය හඳුනාගෙන තිබුණා.
කෙසේ වෙතත්, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පදක්කම තවදුරටත් පොලිස් භාරයේ පවතිනවා.
ඒ අනුව, සම්මානය සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තක්සේරු වාර්තාවක් ද කැදවීමට නියමිතයි.
මෙම සම්මානය බස් රථය තුළට පැමිණියේ කෙසේ ද යන්න පිළිබද සෙවීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙන බව ද පොලීසිය සදහන් කළා.
මෙම සම්මානය පිළිබදව තොරතුරු බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අද පෙරවරුවේ දැනුම් දුන් බව පොලීසිය ප්රකාශ කළ ද කොල්ලූපිටිය බස් නැවතුම්පොලේ ප්රධාන පාලකවරයා සදහන් කළේ එය ඊයේ පස්වරු 6 ට පමණ දැක ඒ පිළිබදව පොලීසියට දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, කොල්ලූපිටිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා බස් සේවකයන් දෙදෙනා බම්බලපිටිය පොලීසියට යොමුකර තිබුණා.
ඔවුන් මීට ටික වේලාවකට පෙර ප්රකාශ ලබාදී පිටව ගිය බවයි වාර්තා වන්නේ.
තිඹිරිගස්යාය ප්රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්රය කරා රැගෙන යාමට ප්රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්ව ඇති බවටයි පොලීසියට පැමිණිලි කර තිබුණේ.