පසුගිය ජූනි 23 වනදා සිට තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ පාසල් ළමයින් 12 දෙනා සිය දෙමාපියන් වෙත හසුන්පත් පෙළක් යොමුකර තිබෙනවා.
ඒවා දුෂ්කර කිමිඳුම් ව්‍යායාමයකින් රැගෙන විත් ඇත්තේ තායිලන්ත නාවික හමුදා සීල් භටයන් විසින්.
ලෙන තුළ කිලෝමීටර කිහිපයක් ඈතින් සිරවී සිටින ළමයින් එම ලිපි මගින් දෙමාපියන්ට දන්වා ඇත්තේ තමන්ගේ ආරක්ෂාව ගැන සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙසයි.
සීල් භටයන් රැගෙන ගිය සටහන් පොතක පිටුවල ඔවුන් සිය අත් අකුරෙන් එම ලිපි ලියා ඇති බව සඳහන්.
ළමයින් මෙන්ම ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරුද සිය නෑ හිතවතුන්ට මෙලෙස පණිවුඩයක් යොමුකර තිබෙනවා.
කෙසේ නමුත් පිවිසුම දක්වා ජලයෙන් පිරී ඇති ලෙන් කුහරයෙන් මොවුන් ඉවතට ගැනීම තවමත් විශාල අභියෝගයක් බවයි තායි බලධාරීන් පවසන්නේ.