Gossips

ලෙනෙන් මුදා ගත් තායි ළමයින්ට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීම අහිමි වෙයි

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙනෙහි සති දෙකක් සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදා ගත් යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාට අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීමේ වරම් අහිමි වී තිබෙනවා.
ජගත් පාපන්දු සම්මේලනය මීට පෙර ප්‍රකාශ කළේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන අවසන් මහා තරඟය නැරඹීම සඳහා අවස්ථාවක් සලසා දිය හැකි බවයි.
එහෙත් මෙම ළමයින්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් ගමනකට යෝග්‍ය නොවන බව තායි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.
එමෙන්ම ක්‍රොඒෂියාව සහ ප්‍රංශය අතර අද පැවැත්වෙන අවසන් මහා තරඟය සජීවි ලෙස රූපවාහිනියෙන් නැරඹීමට අවස්ථාවක් ලබාදීම ද රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තරඟය තායිලන්ත වේලාවෙන් අද රාත්‍රී 10ට ආරම්භ වන අතර, දැඩි වෙහෙසකට මුහුණ දුන් ළමයින්ට එමගින් විවේකය අහිමි විය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
කෙසේ නමුත් එය පටිගත කොට පසුව ඔවුන්ට බැලීමට අවස්ථාවක් ලබාදෙනු ඇති.