Gossips

ලහිරු මධුසංක දිවයිනට

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ළහිරු මධුශංක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඒ, ඔහු එරට අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවයි.
ළහිරු මධුශංක ඊයේ රාත්‍රී 10. 45 ට පමණ කටුනායක ගුවන්තොටුපලට ළගා වූ ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට අයත් යූ.එල්. 116 දරණ යානයෙන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.
2015 වසරේ ඔක්තෝම්බර් 23 වැනිදා අත්අඩංගුවට ගත් මාලඹේ – වැව පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන මොහු 2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නඩු විභාගයකින් තොරව මෙලෙස රඳවාගෙන තිබුණා.
කෙසේ වෙතත්, චෝදනා නොමැති වීම නිසා ඔහු මාලදිවයින් අධිකරණය මගින් නිදහස් කර තිබුණා.
මාලදිවයින් නව ජනපති ඊබ්‍රාහිම් මොහොමඞ් සොලී බලයට පත්වීමෙන් පසු මධුශංක නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වුණා.
නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය සදහා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ලෙස එහි ගිය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නව රජය සමඟ ඔහු පිළිබඳ සාකච්ඡා කළා.
පසුව, ළහිරු මධුශංක මුණ ගැසීමට ද අවස්ථාවක් ලබා ගත් අමාත්‍යවරයා ඔහු නිදහස් කර ගැනීම සදහා හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ සහය ද ලබා ගත්තා.
බරපතල චෝදනාවකට බන්ධනාගාර ගත කර තිබුණ ද ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට මාලදිවයිනේ හිටපු රජය සමත් වූයේ නැහැ.
ළහිරු මධුශංක ඊයේ දිවයිනට පැමිණියේ ද අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමගයි.