මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැළවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබල දී ඇති බව අද(15) අනාවරණය වුණා.
ඒ මීට අදාල නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශයෙන් මේ බව හෙලි කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.
එසේම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව යුද හමුදා බුද්ධි 112 බල සේනාවේ යතුරුපැදි අංශයේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.
මෙහිදී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල මේ මස 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
