Politics Sri Lanka

ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

ලසන්ත ඝාතනය වසංකළ හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට නියමිත හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා ඇතුලු හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබේ.

හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහත්වරුන්ගේද විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෙම පොලිස් නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන විමර්ශන සිදුකරද්දී සාක්කි විනාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අධිකරණයයට ඉදිරිපත් කරමිනි.

එම සැකකරු ලබන 16 වැනි දා තෙක් රක්ෂිත කරන ලෙසද මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු ඊයේ (02) රාත‍්‍රී 10.30ට පමණ මහේස්ත‍්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ සිටි උසස් නිලධාරියකුගේ උපදෙස් පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියේ සාක්කි විනාශ කළ බවට කරුණු අනාවරණය වන බවයි.