Gossips

ලසන්ත ඝාතනය ගැන හිටපු එස්.එස්.පී. වරයෙකුගෙන් පැය 3 ක ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය 3 ක රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
පසුගිය සිකුරාදා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට තම සේවා දායකයා සූදානම් බවයි.
ඒ අනුව එම ප්‍රකාශය ලබාදීම සඳහා ඊයේ (21) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර තිබුණා.
ඒ අනුවයි මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී ඔහු මෙම රහසිගත ප්‍රකාශයක් ලබාදී ඇත්තේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරට සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරිට මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.