Gossips

ලසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දෙවන සහ තෙවන සැකකරුවන් ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විරසිංහ අද නියෝග කළා.
මෙම ඝාතනයේ දෙවන සැකකරු, සිද්ධිය සිදුවන අවස්ථාවේදී ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල තිස්ස සුගතපාල වන අතර, තුන්වන සැකකරු වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරයි.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය චෝදනා එල්ල වී සිටින පළමු සැකකරු වන හමුදා බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදුලාගමට ජුනි මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.
එහිදී විත්තිකරුවන්ගේ නීතිඥයින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අසනීප තත්ත්වයේ පසුවන හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත්, එය බන්ධනාගාර කටයුත්තක් බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට තමන්ට හැකියාවක් නොමැති බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.