Gossips

ලසන්ත ඝාතනයට, පොලීසියේ තුන්දෙනෙකුගේ විදෙස් ගමන් අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු හිටපු උසස් පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරිගේ විදෙස් ගමන් මෙලෙස තහනම් කර ඇති බව සදහන්.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු ඊයේ රාත්‍රියේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අවස්ථාවේ කළ ඉල්ලීමකට අනුව අදාළ උසස් පොලිස් නිලධාරින්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණා.
ගල්කිස්ස පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා පසුගිය පළමුවනදා අත්අඩංගුවට ගැනුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළ විමර්ශන සිදුකිරීමේදී සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල කරමින්.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.
බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන්කර තිබූ ලසන්ත වික්‍රමතුංගගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා 2016 වසරේ ජුලි මස 16 වනදින නැවත ගොඩගනු ලැබුවා.
එහිදී අනාවරණ වූයේ වෙඩි තැබීමකින් නොව විශේෂ ආයුධයකින් හිසකට කළ පහරදීමක් හේතුවෙන් මොළයට සිදුවූ හානි නිසා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණය සිදුවී ඇති බවයි.