Gossips

ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් – හිටපු අගමැති රනිල්

සෙසු දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කර ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැදවීමට ක්‍රියා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
අරලියගහ මන්දිරයේදී පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ තමන් බලයෙන් පහ කරන ලද ඔක්තෝම්බර් 26 වනදා සිටම පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට හිමිව තිබූ බවයි.
දේශපාලන පක්ෂ නායකයින් විශාල පිරිසක් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවත්, ඔවුන් සමග සාකච්ඡා කර ලබන වසරේ මුල් කාර්තුව තුළ ඒ පිළිබදව තීරණයක් ගැනීමටත්, දෙවන කාර්තුවේදී මහ මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවත් ඔහු සදහන් කර තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් නැවතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව පවසා ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති එකම කණ්ඩායම තම පාර්ශවය බව පිළිගත යුතු බවයි.
එය පිළිනොගන්නා තෙක් රටේ අරාජික තත්ත්වයක් පවතිනු ඇති බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ දිනයේ තමා සිටි නමුත් මෙවැනි දිනයක් දැක නොමැති බවයි.
අදාළ ගැටුම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරු දිනයක් පමණක් නොව අදුරු පරිච්ඡේදයක් බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.