Gossips

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවිය අක්‍රිය වේ

ලන්ඩන් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවිය මේ වනවිට අක්‍රිය වී ඇති බව බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය පවසනවා.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයේ නිරතවුණේ මෙරට නිදහස් දින සැමරුම යෙදුණු පසුගිය 4 වනදායි.
එම අවස්ථාවේදී සිය ගෙළ පෙන්වා කිසියම් සංඥාවක් කිරීම සම්බන්ධයෙන් ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජකාරි අත්හිටුවනු ලැබූ අතර, පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඔහුට යළි රාජකාරි පවරනු ලැබුවා.
කෙසේ වෙතත් එම තත්ත්වය පදනම් කරගනිමින් කොටි ඩයස්පෝරාව මෙම වෙබ් අඩවියට බලහත්කාරයෙන් ඇතුලූවී ඇති බවට සැක කරන බවයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයේ සම සභාපති ඉන්දික ගුණසේකර සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිණී කොලොන්නේ ගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම වෙබ් අඩවිය අක්‍රියවී ඇති බවට ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දී ඇති අතර, එය දින 3 ක් ඇතුළත යථා තත්ත්වයට පත් කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.