Gossips

ලක් රජයේ නියෝජිතයින් ජගත් මානව හිමිකම් කොමිසමට, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා හි විරෝධතාවක

ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස අද (19) ජීනිවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව අනිද්දා (21) ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති අතර, එම අවස්ථාවට මෙරට නියෝජිතයින් එක්වනු ඇති.
2017 වසරේ මාර්තු 23 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 34-එක(I) යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වනවා.
එම යෝජනාව හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ලෙසයි.
එමෙන්ම මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද (19) දිනයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ බවයි.
මේ අතර ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට ඊයේ (18) විරෝධතාවක නිරතවුණා.
ජගත් මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාවට සිදුකරන කෙනෙහිලිකම්වලට එරෙහිව පැවති මෙම විරෝධතා සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිණි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් එක්ව සිටියා.