Gossips

ලක්ෂ 40ක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනක පරිගණක ක්‍රියාකරුවෙකුට වසරක සිරදඬුවමක්

රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. එමෙන්ම, දෛනික ආදායම් පිළිබඳ පරිගණක තොරතුරුවලට ප්‍රවේශය ලබා ගැනීම නැමති දෙවන චෝදනාවට ද විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන ලෙසට ද නියෝග කළා.
එමෙන්ම, මෙම ව්‍යාපාරික ආයතනයට මූල්‍යමය අලාභයක් සිදුකිරීමේ අරමුණින් එහි පරිගණක පද්ධතිය අනවසරයෙන් වෙනස් කිරීම යන තුන්වන චෝදනාවට ද වසර දෙකක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය ද වසර 15 කට අත්හිටුවා රුපියල් ලක්ෂ 2 ක දඩයක් ද නියම කෙරුණා.
අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට ද නියම කර ඇති අතර, එසේ නොගෙවන්නේ නම්, වසර 10 ක සිරදඬුවමක් ද නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
2009 වසරේ අප්‍රේල් 20 වනදා සිට 2009 වසරේ ජූලි 31 වනදා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති බවට පවසමින් නීතිපතිවරයා, විත්තිකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා 3 ක් යටතේ මෙම නඩුව පවරා තිබුණා.