Politics Sri Lanka

ලක්ෂ පතියන්, කෝටි පතියන් වූ හැටි කියාගන්න බැරි 152කට අල්ලස් කොමිසමෙන් නඩු

ලක්ෂ පතියන්, කෝටි පතියන් වූ හැටි කියාගන්න බැරි 152කට අල්ලස් කොමිසමෙන් නඩු

හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇත්තේ එම පිරිස තමන්ට ඉපැයිය හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවයි. එසේ උපයා ඇත්තේ අල්ලස් ලබා ගනිමින්, දූෂණවල යෙදෙමින් බව සඳහන් වෙයි.

අල්ලස් කොමිසම එසේ ලැබුණ පැමිණිලි පරීක්ෂාවට ලක්කර එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කර අදාළ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගනිමින් අවසානයේ ඒ සියලු ආදායම් ඉපැයූ ආකාරය පිළිබඳ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් එම වත්කම් ඉපැයූ ආකාරය හෙළිදරව් කිරීමට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

එහෙත් ලක්ෂ, කෝටි ගණනින් ඉපැයූ ඔවුන් එම ධනය පිළිබඳ අල්ලස් කොමිසමට පිළිගත හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් කර නොමැත.

එම නිසා අල්ලස් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම හෙළිකරගත් තොරතුරුවලින් තීරණයකට එළැඹ ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.