Politics Sri Lanka

ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

තමන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩ තහනමට ලක් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව තීරණය කළ බවද ඔහු කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“ලංකා විදුලි බල මණ්ඩලය බරපතල මූල්‍ය වංචා දිගින් දිගටම සිදුවන ආයතනයක් බවට පත්වෙමින් තියෙනවා. බලයට පත්වෙන සෑම ආණ්ඩුවක්ම හසුරවන අදෘශ්‍යමාන බලවේගයක් විදුලි බල මණ්ඩලයේ පවතිනවා.

විෂය භාර අමාත්‍යවරයාට, රජයට අවනත නොවෙන වෙනස්ම වූ පාළනයක් කරන ආයතනයක් බවට අද විදුලි බල මණ්ඩලය පත්ව තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට වඩා ත‍්‍රස්තවාදයක් අද විදුලි බල මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක වෙනවා.

මේ මාෆියාවට එරෙහිව කටයුතු කළ විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලු ලේකම් අජිත් දේවප‍්‍රිය, නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්.ඒ.පී ප‍්‍රභාත්, උප සභාපති පී.ඩී. එස් ප්‍රේමලාල් කමිටු සාජාජිකයන් වන ඩී.එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේත් මගේත් වැඩ තහනමකට ලක්කරලා තියෙනවා.

ජනපති, අගමැති, විශය භාර අමාත්‍යවරයාටත් හොරෙන් තමයි අපිව මේ විදියට අපිව එළියට දාලා තියෙන්නේ.

අපේ සේවකයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන මේ මර්ධනයට එරෙහිව හෙට (19) ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වැඩ බිම් ඉදිරිපිට කලු කොඩි ඔසවනවා. අපි කියනවා පාළකයන්ට ගැටුම්වලට එන්න එපා කියලා. එහෙම වුනොත් 24000ක් හිර ගෙවල්වල දාන්න වෙයි කියලා.

මෙයට අමතරව 21 වනදාට මධ්‍යම පළාතේ සියලුම සේවකයින් මහනුවරටත්, 22 වනදා ත‍්‍රිකුණාමලයේත්, 23 උතුරු මැද පළාතේ සියලුම සේවකයින් අනුරාධපුරයටත්, 26 වනදා දකුණු පළාතේ සියලුම සේවකයින් ගාල්ල නියොජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්‍යාලය ඉදිරිපිටත්, 27 වනදා රත්මලාන ගුවන්තොටුපල ඉදිරිපිට කාර්‍යාලයේත් 28 වනදා සබරගමුව පළාතේ සියලුම සේවකයින් රත්නපුරටත්, මාර්තු 05 අම්පාරටත්, මාර්තු 06 ඌව සියලුම සේවකයින් බදුල්ලලේත්, 07 වනදා ගම්පහත්, 08 වනදා වයඹ පළාතේ සියලුම සේවකයින් කුළියාපිටියටත්, නොරොච්චෝලේ සේවකයින් 09 වනදාත් එළියට අරන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරවල අපි නිරතවනවා.

වැඩ කරපු සේවකයින්ගේ වැඩතහනම කොන්දේසි විරහිතව ඉවත් කළේ නැත්නම් 14 වනදා සිට අඛණ්ඩ දැඩි ක‍්‍රියාමාර්ගවල නිරත වනවා” යැයිද ඔහු කියා සිටියේය.