Gossips

ලංවිම ඉංජිනේරුවන්ට වැටුප් වැඩි කිරීම නීතිවිරෝධීයි – අභියාචනාධිකරණය චක්‍රලේඛය අහෝසි කරයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට පමණක් වැටුප් වැඩි කරමින් ලංවිම පාලන අධිකාරිය 2015 වසරේ නිකුත් කළ චක්‍රලේඛය නීතිවිරෝධී යැයි අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ඊයේ තීන්දු කළා.
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ එහි පාලන අධිකාරිය අතර අත්සන් කර තිබෙන සාමුහික ගිවිසුම කඩ කරමින් ලංවිම පාලන අධිකාරිය ඉංජිනේරුවන්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමිනුයි මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2015 වසරේ ජනවාරි මස 8 වන දා නිකුත් කළ නව චක්‍රලේඛයක් මගින් ඉංජිනේරුවන් සඳහා පමණක් නව වැටුප් ක්‍රමයක් හදුන්වා දුන් අතර එමගින් අනෙකුත් වැටුප් තලවලට විෂමතාවක් ඇති වී තිබෙන බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.
ලංකා විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසම සහ විදුලි ඉංජිනේරු සංගමය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබුණා.
සියළු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම්කාර සංගමයට රුපියල් ලක්ෂ දෙකක නඩු ගාස්තු ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලයට නියෝග කළා.