Gossips

ලංගම වර්ජනය උතුරට, මධ්‍යම සහ සබරගමුවටත් පැතිරේ

වැටුප් ගැටළුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දකුණු පලාතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මේ වන විට උතුර සහ සබරගමු පළාත්වල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා.
අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවෙන් අනතරුව වර්ජනය දීපව්‍යාප්තව සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි සමස්ත ලංකා ප්‍රවාහන සංගමය සඳහන් කර සිටියේ.
රාජ්‍ය සේවකයින්ට ලබා දුන් රුපියල් 10,000 දීමනාව මුලික වැටුපට එක් කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අද ට දින 04ක් වනවා.
දකුණු පලාතේ ලංකා ගමනා මණ්ඩලයට අයත් ඩිපෝ සියල්ලේම වර්ජනය ක්‍රියාත්මක වු අතර ඒ හේතුවෙන් එම ඩිපෝවලට අයත් කිසිදු බස් රථයක් ධාවනය නොවන බවයි වෘත්තිය සමිති සඳහන් කළේ.
මේ අතර, අද පෙරවරුවේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකයට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන් බස් රථයේ වීදුරු කිහිපයකට ද හානි සිදු වි ඇති අතර එහි ගමන් ගත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.
මෙලෙස ගල් ප්‍රහාරයකට ලක්වී ඇත්තේ යාපනය පේදුරුතුඩුවේ සිට අච්චුවේලි දක්වා ධාවනය වූ බස් රථයක් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන ඊ.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි කියා සිටියේ සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දීමට මේ වන විට සාකච්ජා සිදු කරමින් පවතින බවයි.