Gossips

රෝහලේ නොසැළකිල්ලෙන් ගැබිණියක් මිය ගිය බවට ඥාතීන් කියයි

උදරාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ගැබිණි කාන්තාවක් වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් මියගිය බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා.
කොළඹ 15 බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ගැබිණි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අප කළ විමසීමකදී කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර සඳහන් කළේ නොසැළකිලිමත් කම හේතුවෙන් මෙම මරණයට හේතුවී ඇති බවයි.
මේ අතර අධිපීඩන වායු බටයක් ගුද මාර්ගයට ඇතුල් කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ සේවකයෙකු රෝහල් ගතකිරීමේ පුවතක් හොරණ – බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් වාර්තාවුණා.
ඔහු තවත් සේවකයෙකු සමඟ වායු බට රැගෙන උසුලූ විසුළු කරමින් සිට ඇති අතර, එක්වරම අනෙක් සේවකයා අදාළ අධිපීඩන වායු බටය ඔහුගේ සිරුරේ පිටුපසට ඇතුලූ කර තිබෙනවා.
එය ගුද මාර්ගයට ඇතුලූවීමෙන් ඇතිවූ පීඩනයත් සමඟ බඩවැලක් පුපුරායාමෙන් බරපතල තත්ත්වයේ පසුවන සේවකයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ හොරණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
අනෙක් සේවකයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හෝමාගම රෝහලේදී මියගිය බවට විශ්වාස කළ කාන්තාවකට, මෘත ශරීරාගාරයට රැගෙන යාමේදී නැවත පණ ලැබුණු බවට වන පුවතක් ද අද වාර්තාවුණා.
මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුවෙන් මෙලෙස පසුගියදා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, හෙදියක් විසින් ඇයට එන්නතක් ලබාදීමෙන් පසු සිහිසුන් වී තිබෙනවා.
පසුව වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර ඇති අතර, එහිදී ඇය මියගිය බවට තහවුරු කර තිබුණා.
පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ පැයක පමණ කාලයක් සිරුර වාට්ටුවේ තබා එය මෘත ශරීරාගාරයට රැගෙන යාමේදී මෙම කාන්තාවගේ පාදයක් සෙළවීමෙන් පසු ඇය මියගොස් නොමැති බව තහවුරු වූ බවයි.
මේ වනවිට ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව ඥාතීන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට හෝමාගම රෝහලේ බලධාරියෙකු සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළත් ඔවුන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.