Gossips

රෝග වාහකයක් වූ රෝහල

පේරාදෙණිය ශික්ෂණ රෝහල මධ්‍යම පළාතේ පිහිටා ඇති දෙවන විශාලතම රෝහල වන අතර මෙහි දෛනිකව අති විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගන්නවා.
සිය රෝග නිවාරණය කර ගැනීමට පැමිණෙන රෝහල අද වනවිට අවට ප්‍රදේශයට රෝග පතුරවන රෝග වාහකයක් වී ඇත්නම් එය කෙතරම් ඛේදජනක ද ?
හිරු සී.අයි.ඒ. වෙත ලබාදුන් රහසිගත තොරතුරක් අනුව අප පේරාදෙණිය රෝහල් භූමියේ ඊයේ විපරමක් සිදු කළා.
කසල කළමනාකරණ ප්‍රතිපත්තීන් අනුව කිසි ලෙසකත් පරිසරයට නිරාවරණය නොකළ යුතු කසළ ඝනයට වැටෙන සායනික අපද්‍රව්‍ය රෝහල් භූමියේ ගොඩගසා තිබෙනවා.
අප කල ගවේෂණයේදී හෙළිවුයේ දැනට සති තුනක පමණ සිට මෙලෙස සායනික අපද්‍රව්‍ය මෙම ස්ථානයේ ගොඩගැසෙන්නට රෝහල් බලධාරීන් ඉඩ හැර ඇති බවයි.
මේ සායනික අපද්‍රව්‍ය කසල කන්ද හේතුවෙන් මේ වනවිටත් රෝහල පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යනවා.
මෙහි ඇති බරපතලම අනතුර වන්නේ, මේ සායනික අපද්‍රව්‍ය කසල කන්ද ගොඩගැසී ඇති ස්ථානය ආසන්නයේම රෝහලේ මුළුතැන් ගෙය මෙන්ම ලේ බැංකුව ද පිහිටා තිබීමයි.
පිරිසිදු පරිසරයකට දැඩි තර්ජනයක් වන ලේ සහිත බැන්ඩේජ්, පුළුන් ඇතුළු සායනික අපද්‍රව්‍ය කපුටන් ආදී සතුන් මෙලෙස රෝහල පුරා තැන තැන දමා යන අයුරු හිරු සී.අයි.ඒ කැමරා කාචයේ සටහන් වුණා.
ඊයේ මෙලෙස දක්නට ලැබුනු අපද්‍රව්‍ය තොගය අද දින උදෑසන ඇද වැටුනු වැස්සත් සමග ආවරණය කර තිබුනා.
මෙවැනි පැලැස්තර විසදුම් වෙනුවට ස්ථීරසාර විසදුමක් සොයාගැනීමට වගකිව යුතු රෝහල් බලධාරීන් තවදුරටත් කල් මරන්නේ නම් මෙය බරපතල පාරිසරික සහ සෞඛ්‍ය ගැටළු වලට අතවැනීමක් නොවන්නේ ද?
මෙම සායනික අපද්‍රව්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් ලබාදෙන තෙක් හිරු සී.අයි.ඒ අවධානයෙන්.