Gossips

රොහාගේ සහ ගොත අසංකගේ ගෝලයන් සිව්දෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සහ අඟුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලේ ගයාන් නැමති පාතාල සාමාජිකයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්මලාන ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
ඔහු ඝාතන සිද්ධීන් සම්බන්ධ නඩු 5කට අවශ්‍ය සැකකරුවෙකු ද වනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කඩුවක්ද සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට සැකකරු භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එමෙන්ම ගොත අසංක නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන මල්වානේ බන්ටි ඇතුළු 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් ඝාතනයට ලක්වූ රණාලේ සමයං නැමති පාතාල නායකයාගේ ගෝලයන්.
මේ අතර, දීර්ඝ කාලයක සිට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරමක් මෙහෙය වූ බූලා නමැති අනවර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයාද පෙරේදා පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඔහු තියුණු ආයුධ කිහිපයක් ද සමගින් හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඌරුජුවාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවට ද විමර්ශනවලින් අනාවරණ වී තිබූ අතර, ඌරුජුවා නැමැති කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක, සමයංගේ ගෝලයෙකු විසින්.